Saturday, June 28, 2014

ඔව්හු මුදල් වෙනුවෙන්
මරන්නෝය..
ලේ තැවරුණු අත් ඇත්තෝය
මරා නොනැවත කපා කොටා පෙතිගසන්නෝය
ඒ ඇත්තය
එහෙත්

තම අඹු දරුවන් වෙනුවෙන් දිවි දෙවැනි කොට තබන්නෝය
උන්ගේ මතු නොව ඔබෙත් මගෙත් කුසද පුරවන්නෝය
ඒ උන් මරන්නේ මාළු නිසාය
මිනී නොවන නිසාය
මාළු ..කරවල උම්බලකඩ පමණක් නොව මැගි උම්බලකඩ mix කිව්වද ඒ උන්ගේ දහදියය
වෙනදට පෙරහැර බලන දෙවුන්දර දෙවොල ළඟ
එදා උන් හඬ නැගුවේ
උන්ගේ මාළු කන්නන්ට එරෙහිවය
රෑ මැද්දේ රේස් පදින රටේ
ඔව්හු රෑ තුන්යම ජීවිත රේස් එක දුවන්නෝය
තුන්සිය හැටපස් දවසම සැණකෙළි සිරි බලන රටේ
ඔව්හු අනාගත සැණකෙලියක සිහින දකින්නෝය.


Sunday, January 26, 2014

කුරුටු ගෑ හදවතක කුරුටු ගී .. ( අවජාතක කඳුල )

අතින් අත පටලන් ඇවිද ගිය ඉක්මන
ගමන අවසන් උනා අපිටවත් නොදැනීම
අපි අපේ වෙලා උන් මතකයක හැමදාම
දෙතොල් ගොළු වෙලා ඇත
කාටවත් නොකියාම ....
හීන තව දුර කියා හිතුනෙවත් නැතුවාට
අපි අපේ උනානේ ලෝකයට රහසේම
තිත්ත කළුවර නොවේ එලියමයි අපෙ ලොවට
හෙට දිනිඳු ගෙට නොඑනු 

අලුත් දවසක් රැගෙන ...

ඔබේ එක වදනකින්

සංසේචනය වුනි  මහද

දෑස ගැබ්බර උනා මොහොතකුත් නොසිතාම

දස එකඩ මසක් කල්

හිතේ හිරකරන් උන්

කඳුල විලි නොදරාම

ප්‍රසුතිය වූ අරුම 

තවම  අවජාතකයි
අහිංසක ඒ කඳුල
ඔබේ නම හැර වෙනත්
නමක් නම් බෑ දෙන්න ...